Friday, March 6, 2015

සිහිනය

සිහිනය

ආදරයෙන් තුරුල් කරන්
හද මාමට කවි කියන්න
නැලැවිල්ලක් මුමුණ මුමුණ
කිරි මුට්ටිය පා කරන්න
රෝස පාට කම්මුල් දෙක 
ආදරයෙන් සිප ගන්නට
අනේ මටක් කිරි වරන්න
පුංචි දෝනි කෙනෙක් දෙන්න

අම්මා යැයි පුංචි මුවින්
රස බස් මට අහන් ඉන්න
අප්පචිචිට තුරුල් වෙලා
පුංචි කතාවක් කියන්න
ගේ පැල සිරි කත රන්දා
මගේ දිවිය අරුත් දෙන්න
අනේ මටක් කිරි වරන්න
පුංචි දෝනි කෙනෙක් දෙන්න

තනිකම මගෙ දුරු කරවා 
සතුටු සිනා මුව රදන්න
සිගිති මුවේ කිරි සිනාව 
මගෙ ලෝකෙට එළිය වෙන්න
අප්පච්චිට ආඩම්බර
දූ පැටියෙනක් හදා දෙන්න
අනේ මටක් කිරි වරන්න
පුංචි දෝනි කෙනෙක් දෙන්න

Thursday, March 5, 2015

සිහිනයට ඉඩ දෙන්න
අනේ මට එක වරක්
සිපගන්න නුඹෙ දෑත
සැබෑවට එක වරක්
නුඹ හොයන උණුහුමට
ලය දෙන්න එක වරක්
සැබෑ ලෝකෙට එන්න
පුළුවන්ද එක වරක්

සිහිනයෙන් විතරක්ද
ලේ කිරට හැරෙන්නේ
සැබෑ ලොව කවදාද 
නුඹේ රුව දකින්නේ
හිතේ දුක කාටදෝ 
කෑගසා කියන්නේ
ඔහුට නොපෙනෙන කඳුළ
නෙත් කෙවෙනි තෙමන්නේ

සිහිනයෙන් ඇවිත් නුඹ
හිතේ දුක නිවන්නේ
සිඟිති පා පොඩි තබා 
ඹච්චමක් කරන්නේ
නව දිනක අරුණු මැද
නුඹ සැඟව සිටින්නේ
අනේ මං කවදාද
මගෙ දෝනි දකින්නේ

Mathaka


Vivahaya


Cat